තිලක් මාරපන ඉල්ලා අස්වූ හේතුව

0
1353

 

thilak

 නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන තමා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යැවූ බව ප්‍රකාශ කළේය.
ජනපති වරයා එය පිළිගත් බව මේ වනතුරු තහවුරු වී නැත

අද දවසේ මේ මොහොතවනතුරුත් ඇවන්ට්ගාඩ් නෞකාවේ රාජකාරි කටයුතු සිදුවන බව තමන් වගකීමෙන් යුතුව කියා සිටින බව හිටපු නීතිය, සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

දිනකට 30 වතාවක් පමණ මෙම නෞකාවෙන් නාවික හමුදා හා රක්නා ලක්නා සමාගමේ අය මෙම නෞකාවෙන් අවි රැගෙන බෝට්ටුවල ආධාරයෙන් රැගෙන යන බවත්, නැවත රැගෙන එන බවත්, එම කටයුත්ත මේ මොහොතෙත් සිදුවන බවත් ඔහු කියා සිටියේ අද (09) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදීය.

ගාල්ල වරායේ පොලීසිය පවතින්නේ මෙම නැවට මීටර් 100 ක් පමණ දුරින් නිසා මේ මෑත කාලය වන තෙක් ඔවුන් මෙය නොදැක්කා යයි සිතීම සැක සහිත බැවින්, මෙය හදිසියේ වටලා ලකුණු දා ගත්තාදැයි සිතෙන බව ඔහු සඳහන් කළේය.

තමාට දිගට හරහට මඩ ගැසීමට මාධ්‍ය මගින් ක්‍රියා කළ බැවින්, මඩ ගා ගැනීමට අකමැතිව ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, මාධ්‍ය විසින් එවැනි මඩගැසීම් නොකළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

පරීක්ෂණ වලට බාධාවක් නොවන පරිදි ඉල්ලා අස්වීමෙන් පරීක්ෂණ මගින් තහවුරු වන කාරණා සම්බන්ධයෙන් ජනතාව තුළ පිළිගැනීමක් ඇතිවන බව මාරපන මහතා අවධාරණය කළේය.

තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුවද මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිගින් දිගටම රැඳී සිටින බවත්, මේ ආණ්ඩුව පත්කර ගැනීමට තමන් දැවැන්ත කැපකිරීමක් කළ බවත් ඔහු සඳහන් කළේය.

ඇවන්ට්ගාඩ්  සමාගමෙන් රක්නා  ලංකා සමාගමට 18%ක් හා නාවික හමුදාවට 18% ක් පමණ වන ලෙස පිරිවැටුමක් හිමිවුණු බව තමාට මතක යයිද, එම මුදල දල වශයෙන් මිලියන 3.8 ක පමණ මුදලක් බවත් මාරපන මහතා පෙන්වා දුන්නේය.

මෙම නෞකාවේ පවතින්නේ විදේශ සමාගම්වලට අයත් නමුත් ලංකා රජය මගින් සහතික කළ නීත්‍යනුකූල අවි බවත්, ඒ බව තමන් පෙන්වාදී ඇති බවත්, අද දක්වාම නෞකාවේ කටයුතු නිසි ලෙස සිදුවන්නේ ඒ නිසා බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී නැගෙන චෝදනා අසත්‍යය වන්නේනම් හා තමාට සිදුවූයේ හානියක් නම් නීතිමය පියවර නොගන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව මාරපන මහතා ප්‍රශ්න කර සිටියේ ‘මට කියන්නේ කනට ගහන්න කියලද? යනුවෙනි.

කනට ගැසීම හා නීතිමය පියවර ගැනීම යනු එකක් නොව දෙකක් බව මාධ්‍යවේදියා විසින් පෙන්වාදෙනු ලැබූ පසු මාරපන මහතා කියා සිටියේ එසේ කිරීමට තමාට වුවමනාවක් නොමැති  බවයි.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY