ගී අහන්න කැමැති අශාන් ගී අහමින් මරු වෙත යයි

කලාව හා මිනිසා අතර සුවිශේෂ බැඳීමක් ඇත. මිනිස් ජීවිතයේ ආනන්දයෙන් ප්‍රඥාව කරා යන මිනිසුන්ගේ ජීවන වියමන වර්ණවත් කිරීමට කලාවට හැකි ය. එහෙත් න‍ූතන සමාජ ධාරාවේ දක්නට ලැබෙන්නේ කලාව ඇතැම් මිනිසුන්ගේ වින්දනය ආලෝකවත් කිරීමට නොව මිනිසුන් ගේ සැඟවුණු ‍මනෝභාවයන් උද්දීපනය කිරීමට සමත්ව ඇති බවයි.

තවත් මේ කරුණ තහවුරු කැරෙන සිද්ධියක් තිහගොඩ, කපුදාව මහජන ක්‍රීඩාංගණයේ දී 31 වැනිදා පාන්දර සිදුවිය.

අශාන් බස්නායක නමැති අවුරුදු 12 වයසැති දරුවකුගේ ජීවිතය මරු විකාරයෙන් හැසිරුණු තැනැත්තෙක් එල්ල කළ පිහි පහරකින් නිමාවට පත් විය. අශාන්ගේ එකම විනෝදාංශය බවට පත්ව තිබුණේ ගීත ගායනය හා ගීත ඇසීමය.

“අපේ මල්ලි හරි ආ‍සයි සංගීතයට ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා වැඩේ ගීත අහන එකයි, ගයන එකයි තමයි. ඒ නිසා අපේ නිවෙසේ කිසිම පාළුවක් තිබුණේ නෑ. අපේ මල්ලිගේ කටහඬ ගෙදර පාළුව අපේ කාන්සිය නැති කළා. ඒ නිසා අපි හැම දෙනාම මල්ලිට ආදරය කළා.

එහෙත් අපි කිසිම මොහොතක මේ සංගීතයට තියෙන ළැදියාව මගේ මල්ලිගේ ජීවිතය නැති වෙන්න හේතුවක් වේවි කියලා හීනෙන්වත් හිතුවේ නැහැ. නමුත් අපේ හිත අදහා ගන්නට බැරි වෙන විදියට මගේ මල්ලිගෙ ජීවිතේ උදුරා ගත්තා. මේ කිසි කෙනකුට මගේ මල්ලි කරදරයක් කරන කෙනෙක් නොවේ.

ඉතා අහිංසකව තමයි එයා ජීවිතය ගත කළේ. අපි බොහොම අහිංසක විදියට අපේ පාඩුවේ තමයි ජීවිතය ගෙව්වේ. එහෙත් අපේ අහිංසක කුරුළු කූඩුව විනාශ කළා. අපේ පවුලේ හැම දෙනාම සතුටු කළ මගේ මල්ලි අද අපිට අහිමි වුණා කියමින් අශාන් ගේ දෙවන අක්කාගේ හැඬුම නිවෙසට රැස්වූ සෑම දෙනාගේ ම දෙනෙත් කඳුළැලි වලින් නහවන්නට සමත් විය.

තිහගොඩ ජාතික පාසලේ 8 වැනි වසරේ ඉගෙන ගත් කුරා කුහුඹියකුටවත් වරදක් නොකළ අහිංසකයකු වෙනුවෙන් මුළු ගම්මානයම අඳුරින් වැසුණා වැනි ය.

“මගේ රත්තරන්. අද කොහේද ගියේ මාව දාලා. මම නුඹේ මුහුණ බලාගෙන. මේ පෙට්ටිය වහන්න දෙන්නෙ කොහොමද? ඉන්නේ කොහොමද කියන්න මගේ රත්තරන්. ජීවිතයට වත් අපි මේ සමාජයට වැරැද්දක් කළේ නැහැ. ඇයි අද අපිට මේ වගේ යැයි කියමින් දුක් වේදනාවක් උරුම කළේ අශාන්ගේ මව එච්.පී. කාන්ති මහත්මිය හඬා වැලපෙන්නට වූවා ය.

“මගේ ‍දරුවා තමයි සංගීතයට යමු කියලා ගෙදර අයත් එක්ක ගියේ. අපේ අල්ලපු වැටේ තමයි සංග‍ීතය තිබුණේ. ඒ නිසා තමයි අපි ගියේ. මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මගේ පොඩි පුතා තමයි අශාන් මගේ දෑස් ඉදිරිපිට තමයි මේ සිද්ධිය වුණේ. මේ සිද්ධිය මගේ මතකයෙන් ඈත් කරන්න බැහැ.

ඔය අපරාධකාරයා පිහියක් අරගෙන මස් වැද්දෙක් වගේ ව‍ෙට්ම ඉන්න මිනිසුන්ට ඇණගෙන ඇණ ගෙන ගියා. පස්සෙ තමයි මගේ පැටියාගේ බෙල්ල පසාරු කරගෙන යන්න ඇත්තේ අහිංසකයගේ බෙල්ලෙන් ගලාගෙන ගිය ලේ වලින් එතැන ලේ විලක් බවට පත් වුණා.

 

 

 

පස්සේ අපේ ගමේ මිනිසුන් එකතුවෙලා අපරාධකාරයා අල්ලා ගෙන පොලීසියට භාර දුන්නේ. පස්සේ මගේ දරුවා මම ත්‍රිරෝද රථයේ දමා මාතර මහ රෝහලට ගියේ.

යනවිටත් මගේ දරුවා මෙලොව අතහැරලා ගිහිල්ලා ඉවරයි. මවකට තම ජීවිතයට වඩා වටිනා වස්තුවක් බඳු දරුවකු සාහසිකයකුගේ පිහි පහරින් දිවි අහිමි වනු දකින මවකගේ සිතට නැ‍ඟෙන වේදනාව කෙතරම් දරුණු වනු ඇද්ද?

“මේ සිද්ධිය සිදුවන විට මම එතැන හිටියා මුලින් ම තුවාල ලැබූ තරුණයකු මම ත්‍රිරෝද රථයට දැම්මා. පස්සේ තවත් පොඩි ළමයෙක් අරගෙන ආවා එයාගෙ බෙල්ල ඇලවෙලා තිබුණේ. පුංචි අම්මා මට කීවා මේ අරගෙන එන්නේ අපේ චූටි පුතාය කියලා.

පස්සේ මම පහර දුන් ස්ථානයට ගියා. එවිට මාමා බිම වැටිලා හිටියා. මම ඇහුවා කවුද මැරුවේ කියලා. මාමා මට පෙන්නුවා. පස්සේ ඒ පුද්ගලයාගේ බෙල්ලෙන් අල්ලා ගත්තා. පස්සේ ඌත් මගේ බෙල්ලෙන් අල්ලාගෙන පොර බැදුවා.

පස්සේ ගමේ මිනිස්සු එකතුවෙලා ඒ සාහසිකයා අල්ලාගෙන පොලිසියට බාර දුන්නා. සිද්ධිය දුටු ඥාතියෙක් කීය.

මේ වනවිටත් අෂාන් අප අතහැර ගොසිනි. සිද්ධියට සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන මේ මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත්තුමා නියෝග කර ඇත. තිහගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.පී.එස්. සංජීව මහතාගේ මෙහෙයවීමෙන් ඉතිරි සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

සංගීතයට ළැදි අශාන්ගේ ජීවිතය විනාශ ව‍ු ආකාරය ලොව ශිෂ්ට සමාජයේ ජීවත්වන කිසිවකු හට දරාගැනීමට නොහැකිය. සංගීතය රස විඳිමින් සිටින පිරිසක් අතරට පිහියක් රැගෙන කඩා වැදුණු සාහසිකයකු නිසා අහිංසක ජීවිතයක් අකාලයේ මිලින විය.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY