මා ළඟටම තව ළංවෙලා.. ප්‍රේම සැඳෑවෝ

0
2071

 wd

– ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ

ඩබ්ලිව්. ඩී. ආරියසිංහ සංගීත විෂය පිළිබඳ පාසල් ගුරුවරයෙකි. දක්ෂ සංගීතඥයෙකි; ගැඹුරු හඬකට උරුමකම් කියන දක්ෂ ගායන ශිල්පියෙකි. මීට කලකට පෙර ඔහුගේ නමින් නිකුත් වූ සීඩී තැටියක් සමාජයේ වඩාත් කතාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්විය.

මේ වන විට ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතා සිටින්නේ තරමක් රෝගාතුරවය. පසුගිය දිනෙක ගල්කිස්ස කලාපුරයේ පිහිටි ඔහුගේ නිවෙසට ගියේ රසඳුන පාඨක ඔබට ඔහු පිළිබඳ නවතම තොරතුරු ගෙන එන්නටය.

. පළමුවෙන්ම ඔබගේ සංගීත ජීවිතයේ ආරම්භය පිළිබඳව කෙටියෙන් මතක් කරමු ද…?

මම සංගීතයට අත්පොත් තැබුවේ ගෙදරින් කිව්වොත් හරි. ගෙදරදි මම නිතරම ගීත ගායනා කළා. පාසලේදී සංගීතය විෂයක් හැටියට හැදෑරුවා. මම උසස්පෙළ විභාගයට පෙනී සිටියේ පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයෙන්. උසස්පෙළට කළේ, සංගීතය විෂයයන්. උසස්පෙළ ඉතාම ඉහළින් සමත්වෙලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ආවා.

ඒ වන විටත් මම ගම් ප්‍රදේශයේ තරමක් ජනප්‍රිය ගායන ශිල්පියෙක්. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ සංගීත අංශයේ ප්‍රධානියාව සිටියේ සංගීත විශාරද අමරදේව ශූරීන්. සෞන්දර්ය විශ්ව විද්‍යාලයෙන් ඉවත් වුණාට පසුව මම ගුවන්විදුලියේ සරල ගී ශිල්පීන් තේරීමේ පරීක්ෂණයට පෙනී සිටියා. එයිනුත් උසස් ලෙස සමත් වෙලා ගුවන්විදුලි ගායන ශිල්පියෙක් බවට පත්වුණා.

මා ගායනා කළ ගීත රැසක්ම ගුවන්විදුලියේ තිබෙනවා. ඒ වගේම, කැසට් පටවලටත් සීඩී පටවලටත් මම ගීත රැසක්ම ගායනා කළා. මෑතදී ඉතාම ජනප්‍රිය වුණු මගේ ගීතයක් තමයි “මා ළඟටම තව ළංවෙලා…” ගීතය. ඒ ගීතය ලිව්වේ ආචාර්ය අජන්තා රණසිංහයන්. ජාතික රූපවාහිනියේ රවීන්ද්‍ර මුණසිංහ ඒ ගීය වෙනුවෙන් කළ රූප රචනය එම ගීතය ජනප්‍රිය වෙන්න බෙහෙවින් බලපෑවා.

. නමුත් ඔබ සහ ඔබේ ගායනයන් සමාජයේ වඩාත්ම කතාබහට ලක්වුණේ අමරදේවයන් ගායනා කළ ගීත ඔබ විසින් ප්‍රේම සැඳෑවෝ සීඩී පටයට ගායනා කළ නිසා නේද?

ඇත්තෙන්ම ඔව්. මම එලෙස ගායනා කළේ සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් විසින් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කළ තනු ඇතුළත් ගීත. ඒ ගීත එකතුව ගයන්න තිබුණේ අමරදේව ශූරීන්. නමුත් කිසියම් වූ හේතුවක් නිසා ඒ වන විටත් පටිගත කර තිබු සංගීතයට මට එම ගීත ගයන්න සිදුවුණා. කේමදාස මාස්ටර් එම ගීත ගයන්න මට අවස්ථාව ලබා දුන්නේ මා ගැන පැහැදුණු නිසයි. . නමුත් එම සීඩී පටිය පිළිබඳව සමාජයේ විශාල ආන්දෝලනයක් ඇතිවුණා නේද?

ඔව් ඒක ඇත්ත. ඒකට හේතුවක් තියනවනේ. බුදු බණ අපි කොහොමද පිළිපදින්නේ. ඉතාම ගෞරවයෙන් නේද? ඒ වගේ තමයි අමරදේවයන්ගේ ගායනය පිළිබඳව මේ රටේ ප්‍රබුද්ධ සංගීත රසිකයන්ගේ විද්වතුන්ගේ සුවිශේෂ මතයක් තිබුණා. අමරදේවයන් ගායනා කළ ගීත වෙන කෙනෙකුට ගයන්න බැහැ; එහෙම ගායනා කරන එක වැරැදියි කියන මතය සමාජයේ තිබුණා.

මම ඒ මතයන්ට කවදාවත්ම අභියෝග කරන්නේ නෑ. ඕනෑම කෙනකුට ඕනෑම මතයක් දරන්න පුළුවනි. මම අමරදේවයන්ගේ ගීත ගායනා කිරීම පිළිබඳව සමාජයෙන් විරෝධතාවයක් ආවේ අමරදේවයන්ට සමාජයේ සෑම දෙනා තුළම තිබූ අසීමිත ගෞරවය නිසයි. ඒ සෑම ගීතයකම තනු අමරදේවයන්ට නිර්මාණය කර දී තිබෙන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ශූරීන් විසින්. හැබැයි ඔය සීඩී තැටිය නිර්මාණය වීම පිළිබඳව කවුරුත් නොදන්නා රහසක් තිබෙනවා.

. මොකක්ද ඒ රහස?

‘ප්‍රේම සැඳෑවෝ’ පටයට නුගේගොඩ ‍සොනිත් ශබ්දාගාරයේදී සංගීතය පටිගත කළේ ගීත මට ගායනා කිරීමට නෙමෙයි. අමරදේවයන් සඳහා තමයි එම සංගීතය මුලින් පටිගත වුණේ. ඒ දවස්වල සංගීතඥ සමන්ත පෙරේරා කේමදාසයන්ට නිතර ඇවිටිලි කරල තියනවා, “මාස්ටර්, මාස්ටර්ගෙ පරණ සින්දු ටික ආයෙත් පටිගත කරමුකො’ කියලා. තුන් හතර වතාවක් මෙහෙම කියන විට මාස්ටර් සමන්තට කියලා තියෙනවා “එහෙමනම් සමන්ත ඔයා වැඩේ ලැහැස්ති කරන්න” කියලා.

සමන්ත නිෂ්පාදකවරයකුත් සමඟ සාකච්ඡා කරලා ආචාර්ය අජන්තා රණසිංහයන් සමඟත් සාකච්ඡා කරලා තමයි සංගීතය පටිගත කරන්න සූදානම් වුණේ. ඒ වන විට මගේ කිසිම සම්බන්ධයක් ඒ කිසි දේකට තිබුණේ නෑ. ඒ වගේම සංගීතය පටිගත කළාට අමරදේවයන්ට තදබල විදියට මේ සඳහා ආරාධනා කරලා තිබුණෙත් නෑ. නමුත් සංගීතය පටිගත කළේ අමරදේවයන්ට ගයන්නයි.

නුගේගොඩ සොනිත් ශබ්දාගාරයේ අමරදේවයන්ගේ ගීතවල සංගීතය පටිගත කරන විට එම පටිගත කිරීම අසාගෙන සිටි එතැනට පැමිණි කෙනෙක් ‘ඇයි මේ අමරදේවයන්ගේ ගීතවල සංගීතය නැවත පටිගත කරන්නේ කියලා’ වාදන ශිල්පියකුගෙන් අසා තිබෙනවා.

එවිට වාදන ශිල්පියා කියලා තියෙනවා අමරදේවයන්ට ගායනා කරන්නයි මේ සංගීතය පටිගත කරන්නේ කියලා. මේ ආරංචිය එම පුද්ගලයා දැනට ජීවතුන් අතර නැති එකල සිටි දක්ෂතම සංගීතඥයකුට ගිහින් කිව්වා. එම සංගීතඥයා ඒ දවස්වල පැරැණි ගීත අලුතින් පටිගත කිරීම පිළිබඳව උනන්දුවෙන් සිටි කෙනෙක්.

එම සංගීතඥයා වහාම ගියා අමරදේවයන් හමුවෙන්න. ගිහින් අමරදේවයන්ට යෝජනාවක් කළා අරමදේවයන්ගේ පැරැණි ගීත අලුතින් පටිගත කරන්න.

“අපි සීඩී පටි 3 ක් කරමු, ළඟදීම වැඩේ පටන් ගමු” කියලා අත්තිකාරම් මුදලකුත් අමරදේවයන් අත තබලයි ඒ සංගීතඥයා ආවේ. අමරදේවයනුත් ඒකට එකඟ වුණා. මේ බව කේමදාසයන් දන්නේ නෑ. කොහොමහරි සොනිත් ශබ්දාගාරයේ ‘ප්‍රේම සැඳෑවෝ’ සීඩී පටයේ සංගීතය පටිගත වුණාට පස්සේ එහි නිෂ්පාදකවරයාත් සමන්ත පෙරේරාත් කේමදාස මාස්ටර් හමුවෙලා අමරදේවයන්ට ගායනා කරන්න ආරාධනය කරමු කියලා කිව්වා.

ඒ වන විට මේ පිළිබඳව අමරදේවයන්ට ලොකුවට කියලා තිබුණේ නෑ. කේමදාසයන් අමරදේවයන්ට දුරකතන ඇමැතුමක් අරන් “අමරෙ අපි පරණ සින්දු ටික ආයෙ කරමුද” කියලා අහලා තියෙනවා. එතකොට අමරදේවයන් “අනේ කේමා… මාර වැඩේනේ… මම දැන් සීඩී තුනකට ඇග්‍රිමන්ට් එකක් ගහලනේ තියෙන්නේ” කියලා අමරදේවයන් කියලා තියෙනවා.

ඒ වෙලාවේ කේමදාස මාස්ටර්ට හොඳටම කේන්ති ගිහින්, “අමරේ ඒ සීඩීවලට ඔයා ඕන සින්දුවක් ගන්න, හැබැයි මම කරපු සින්දු එකක්වත් ගන්න එපා” කියලා කේමදාස මාස්ටර් අමරදේවයන්ට කියලා තියෙනවා. එතැනින් ඒ වැඩේ ඉවර වුණා.

නමුත් ඒ වන විට විශාල මුදලක් වැය කරලා සොනිත් ශබ්දාගාරයේ ‘ප්‍රේම සැඳෑවෝ’ සංගීතය පටිගත කරලා ඉවරයි. නිෂ්පාදකවරයා අතරමං වෙලා. එහිදී කේමදාස මාස්ටර් සමන්තගෙන් අහලා තියෙනවා ‘දැන් සමන්ත මොනවද කරන්නෙ’ කියලා. ඒ වෙලාවෙ සමන්ත කියලා තියෙනවා ‘මාස්ටර් මේ සින්දු ටික “ආරි” දාල කියමු’ කියලා.

‘හා… එහෙමනම් ආරිව එක්කගෙන එන්න’ කියලා මාස්ටර් කියලා තියෙනවා. සමන්ත එදාම අපේ ගෙදර ආවා. ඇවිත් කතා කළා සේරම දේවල්. ඒ වෙලාවේ සමන්තට මම කිව්වා ‘සමන්ත මේක ඉතාම බාරදූර වැඩක් ප්‍රශ්න ගොඩක් ඇතිවන වැඩක්… ඒ නිසා මේකට එකපාරටම උත්තරයක් දෙන්න බෑ’ කියලා.

නිෂ්පාදකවරයෙක් එක්ක තිබුණු ගනුදෙනුව ගැන මම ඒ වෙනකොට දැනගෙන හිටියේ නෑ. කොහොමහරි මම ඒ ගීත ගායනා කළා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඒ ගීතවලට මගේ හිතේ තිබුණු ආදරය.

ඇත්තෙන්ම මට එහිදී ලැබුණේ සුළු මුදලක්. ධර්මසිරි ගමගේ මහතා ඇතුළු ප්‍රධාන පෙළේ මාධ්‍යවේදීන් කීපදෙනකුගේ සංවිධානයෙන් සහ සහභාගිත්වයෙන් මරදාන බේක්හවුස් ආයතනයේ ශ්‍රවණාගාරයේදී තමයි මේ සීඩී පටය එළිදැක්වූයේ. ඒ වුණාට සීඩී පටය නිකුත් කරලා, ටික දවසකින් විවිධ මාධ්‍යයන් ඔස්සේ විවිධ ප්‍රචාරයන් මෙම සීඩී පටය සම්බන්ධව පළවුණා.

. පසුගිය කාලේ ඔබ තරමක් අසනීප වුණා නේද?

ඔව්; 2011 වසරේදී Stroke දෙකක් ආව නිසා මම අසනීප වුණා. මගේ ජීවිතය බේරුණෙත්, අද මම මේතරම් තත්ත්වයක හරි ඉන්නේත් වෛද්‍යවරුන්ට පින්සිදු වෙන්නයි.

මේ තත්ත්වය ඇති නොවුණානම්, මේ වන විට මට වැඩ ගොඩක් කරන්න පුළුවන්කම තිබුණා. මේ වන විටත් මම වෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. මම අසනීප වුණාට පසුව මගේ හිතවත් කලාකරුවන් බොහෝ පිරිසක් මාව බලන්න ආවා; මට ගොඩාක් උපකාර කළා. මේ වන විටත් මගේ දිනපතා ප්‍රතිකාරවලට විශාල මුදලක් යනවා. මට විශ්වාසයි ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මා පිළිබඳව සොයා බලන බවට.

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY