pilleyan1

දෙමල ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී රාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් නාවික සෙබළෙකු රජයේ සාක්ෂිකරුවකු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව රහස් පොලිසිය පවසයි.

අදාළ නඩුව අද (20) කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කියා සිටියේ මෙහි සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති නාවික සෙබළුන් හය දෙනෙකු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

නොවැම්බර් මස 03 වනදා නැවත පැමිණිල්ල කැඳවීමට නියම කළ අධිකරණය එදිනට සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

කොළඹ නාරාහේන්පිට යුධ හමුදා රෝහල ඉදිරිපිට දී රවිරාජ් මන්ත්‍රීවරයා වෙඩි තබා මරා දමා තිබුණේ 2006 වසරේ දීය.

එම ඝාතනය සඳහා යොදා ගත් තුවක්කුව සොයාගෙන ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙඩි තැබූ පුද්ගලයා, එම ඝාතකයාව ත්‍රීරෝධ රථයකින් රැගෙන ආ රියදුරා මෙන්ම, වෙඩි තැබීමෙන් අනතුරුව ඝාතකයා රැගෙන ගිය යතුරු පැදියේ රියදුරා සම්බන්ධ සියලු තොරතුරු ද හෙළිදරව් කර ගෙන ඇති බවද රහස් පොලිසිය කියා සිටියේය.

පිල්ලේයාන් සම්බන්ධයි !

රවී රාජ් මහතාගේ ඝාතනයට යොදාගෙන ඇත්තේ, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිලේයාන් මහතාට යුධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් ගිනි අවියකි.

ඝාතනයට යොදා ගත් ගිනි අවිය පිලේයාන් විසින් ‘චරන්’ නමැත්තකුටත් අනතුරුව රවී රාජ් මහතාට වෙඩි තැබූ නාවික සෙබල ප්‍රියන්ත නැමැත්තටත් ලබාදී තිබේ.

වෙඩි තැබීමෙන් පසු නාවික සෙබල ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබු ආරක්‍ෂිත නිවහනකට රැගෙන යන්නේ එම බුද්ධි සේවයේ පොලිස් කොන්ස්තාපල් වරයකු වන මනම්පේරි නමැති අයෙකි.

ප්‍රියන්ත හා මනම්පේරි යන දෙදෙනාවම මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර තිබේ.

 

mirrorlk

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY