“අනේ ස්වාමිනී මට මගෙ මනුස්සයා මැරුණාට පස්සෙ, ජීවත්වෙන්න කරන්න දෙයක් තිබුණේ නෑ. මට සලකන්න කාත් කවුරුත් නෑ. මහත්තයා මැරෙද්දි මගෙ බඩට මාස දෙකයි. ලොකු පුතා ඉස්කෝලෙ තුනේ පන්තියේ, මගේ අම්මට දියවැඩියාවයි, පපුවෙ මහන්සියයි තියනවා.

1716545-BTCIRXAH-8

බේත්වලට සෑහෙන ගානක් යනවා. ජීවත්වෙන්න රස්සාවක් හොය හොයා ඉද්දි තමයි මට ගෙදර ඉඳලම කරන්න පුළුවන්. මේ රස්සාව හම්බ වුණේ. මාව සල්ගාදු මුදලාලිට අඳුන්නලා දුන්නේ මගේ මිතුරියක්. මුලදි මම දැනගෙන හිටියේ නෑ. මම පැකට් කරලා දෙන්නේ මත් කුඩුයි කියලා. ඒත් පස්සෙදි දැනගත්තා. ඒ වුණත් මම නැවැත්තුවෙ නෑ.”

සාරදා කුමුදුනී මහර මහේස්ත්‍රාත් හමුවේ ඉකි බිඳිමින් කියා සිටියාය. සයමස් ගැබිනියක වන සාරදා කුමුදුනී. කිරිබත්ගොඩ පොලීසිය මඟින් මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවා තිබුණි. ඇයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා වූයේ හෙරොයින් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීමයි.

අන්තරායකර ඖෂධයක් වන ඩයිඇසටයින් මෝර්ෆීන් හෙවත් හෙරොයින්, ග්රෑම් 15.32 ක් ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් ඇයට වසර 05 ක සිර දඬුවමක් ලැබුණි. පැමිණිල්ල විසින් ද එකී චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබුණි. මහර බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සාරදාට ද ඉඩක් වෙන් විය.

සාරදා කාන්තා වාට්ටුවේ නවාතැන්ගෙන සිටින්නේ මහත් අපහසුවෙනි. දරු ප්‍රසූතියට ඇත්තේ තවත් තෙමසක් පමණ වන බැවින් ඇයට විවිධ ශාරීරික අපහසුතා පැන නඟී. ඒ සියල්ල ඉවසීමට ඇයට සිදුව ඇත.

සාරදාගේ සිත අතීතයට දිවයයි. දෛවය තමාට දිගින් දිගටම සරදම් කළාදෝයි ඇයට හැ‍ඟෙයි.

ජලනළ කාර්මිකයකු වූ සාරදාගේ පියා සාරදාවත් මවත් මෙලොව තනිකර මිය පරලොව යන්නේ සාරදා අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටිමින් සිටියදීය. ඉන්පසු සාරදාත්, මවත් ඉතා අසරණ තත්ත්වයට පත්වන අතර ඔවුන්ට පිළිසරණ වන්නේ රංජිත් අත්තනායකය. ඔහු සාරදාගේ පියා සේවය කළ වැඩබිමේම විදුලි කාර්මිකයකු ලෙස රැකියාව කළේය.

යමක් කමක් ඇති පවුලක බාල දරුවා වූ රංජිත්ගේ දෙමවුපියන් රංජිත්ට විවාහ යෝජනා ගෙන එන්නේ සාරදා හා පවතින සම්බන්ධය ඉව වැටීම නිසාය. රංජිත් තමා ජීවත්වූ ආඬිඅම්බලම ප්‍රදේශයෙන් කඩවතට ගොස් සාරදා විවාහ කරගත්තේය. මේ සම්බන්ධයෙන් රංජිත්ගේ පවුලේ අය දැඩි විරෝධය පාමින් ඔහු පවුලෙන් නෙරපා හැරියහ.

සාරදාට ලොකු පුතු ලැබුණු පසුව ද රංජිත්ගේ දෙමවුපියන් බැලීමට ගිය ද ඔවුන් සාරදා හා රංජිත් ප්‍රතික්ෂේප කළහ.

“මායම් දාලා කොල්ලව අල්ලගත්තා. අපේ දරුවා අපිට නැති කරලා කාලකණ්ණි ගෑනි දැන් එනවද ළමයෙකුත් අරගෙන” රංජිත්ගේ මවගේ ගෝරණාඩුව අඩුවක් නැත.

“ඇයි අම්මේ එහෙම කියන්නේ මේ මගේ දරුවනෙ” රංජිත් තම මවගේ දෙපා ළඟ පින්සෙන්ඩු වූයේය.

“අපේ පොඩි පුතා මැරුණා කියලා අපි හිත හදාගෙන ඉවරයි. මගෙ දෑහැට නොපෙනී පලයල්ලා මෙතනින්.”

රංජිත් හා සාරදා කොතෙක් පින්සෙණ්ඩු වුවද පලක් නොවීය. ඔවුන් නැවත පැමිණියේ බිඳුණු බලාපොරොත්තු ඇතිවය.

මේ දෙපළට ලැබුණේ සාරදාගේ මවගේ ආශිර්වාදය පමණි. තම පුතු වැඩෙනු දකිමින්, රංජිත් හා සාරදා සතුටින් සමාදානෙන් ජීවත් වූහ. එහෙත් රංජිත් සිය විවාහ ජීවිතයට දෙමවුපියන්ගේ ආශිර්වාදය නොලැබීම ගැන නිරන්තරයෙන් දුක් වීය. එසේම ඔහු ඒ ගැන නිතරම කල්පනා කරන්නට වූයේය.

රංජිත් නිරතුරුවම සිය පවුල පිළිබඳ මෙන් ම සාරදාගේ මව ගැන ද සොයා බලමින් කටයුතු සිදු කළේය. ඔවුන්ගේ පවුලට මහත් රැකවරණයක් වූ සාරදාගේ මව අසනීප වන්නේ මේ අතරය.

“බලන්නකො රංජිත් හොඳට හිටිය අම්මට වෙච්ච දේ. අම්මා අපිට කොච්චර උදව් කළා ද? අම්මට වැඩි වයසකුත් නෑනෙ. අපිට හැමදාම කරදරනේ.”

“මොනවා කරන්නද සාරදා. පැමිණෙන දුක් පැණි රසයි කියලා හැමදේටම මූණ දෙනවා ඇරෙන්න. මම ඔයාලට ඉන්නවනේ.” රංජිත් නිරතුරුව උත්සාහ කරන්නේ සාරදා සැනසීමටය.

ඇය දෙවැනි වරට ගැබිනියක වන විට ලොකු පුතු තිවංක ඉගෙනුම ලැබුවේ දෙක වසරේය. රෝගීව සිටින මව රැකබලා ගනිමින් දරුවා පාසලට රැගෙන යෑම සිදු කරන්නෙ සාරදා විසිනි.

කරදර පැමිණෙන විට එන්නේ එකපිටය. හදිසියේ රංජිත්ගේ, රාජකාරි වැඩබිමෙන් දැනගන්නට ලැබුණු පුවතින් ඇයට සිහි එළවා ගත නොහැකි විය. “රංජිත්ට විදුලි සැර වැදිලා ඉස්පිරිතාලේ ගෙනිච්චා ටිකක් අමාරුයි.”

රංජිත්ගේ වැඩපළේ අයෙක්ගෙන් පණිවුඩය දැනගත් සාරදා රෝහලට දිවයන්නේ අවසිහියෙනි. තම පවුලට සිටි එකම රැකවරණය වූ රංජිත්ගේ අකල් වියොවින් කම්පිත වූ සාරදා රංජිත්ගේ නිහඬ දේහය වැලඳගෙන වැලපුණාය. රංජිත්ගේ මරණයට වන්දි වශයෙන්, ඔහුගේ රාජකාරි ස්ථානයෙන් ලැබුණු සුළු වන්දි මුදල ඔවුන්ගේ දිවි ගැටගසා ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නොවීය. කබලෙන් ළිපට වැටී සිටි සාරදාට ගෙදර සිටම පහසුවෙන් කළ හැකි රැකියාවක් හඳුන්වා දුන්නේ තොටළඟ ප්‍රදේශයේ සිටින ඇගේ යෙහෙළියකි. බෙහෙත් වර්ගයක් පැකට් කිරීම සඳහා ලබාදිය හැකි බවත් ඒ සඳහා වැඩි මුදලක් ගෙවන බවත් ඇය පැවසුවාය.

“උඹට කරදරයකුත් නෑනෙ බං. ගෙදර වැඩයි, ළමයගෙ වැඩයි අම්මගේ වැඩයි සේරම කරලා විවේක වෙලාවෙදි මේ පැකට් ටික හදලා ගිහින් දීපං.” යෙහෙළිය තොටළඟ ප්‍රදේශයේ මුදලාලි කෙනෙක් සාරදාට හඳුන්වා දුන්නාය.

This image depicts a still life composed of a number of items set atop a mirror that represented controlled substances often ingested, inhaled, or injected by illicit drug users. Included in this repertoire of drug paraphernalia, were a number of red oblong tablets, rows, or "lines" of a finely-granulated white powder two razor blades in the foreground, and in the background, a teaspoon, and a small syringe. Keywords: cocaine, heroin, syringe, needle, drug use

මාස ගණනාවක් සාරදා තම රාජකාරිය මැනැවින් ඉටුකළ අතර ඇයට යහමින් මුදල් ලැබුණි. තමන් මෙලෙස පැකට් කර රැගෙන යන්නේ මත්කුඩු බව ටික දිනකින් ඇය දැනගත්තත් ඇයට වෙන කළ හැක්කක් නොවීය. අනිත් අතට, දිනපතා තමන්ට ලැබෙන විශාල ආදායම අහිමි කර ගන්නට සාරදා අකමැති වූවාය.

බලාපොරොත්තු රහිත ලෙසින් ඇය පොලිස් අත්අඩංගුවට පත්වන්නේ මේ අතරතුරදීය.

සාරදාට දැඩි කොන්දේ වේදනාවක් දැනිණ. කාන්තා වාට්ටුවේ බිම වාඩිවී එකම ඉරියව්වේ දිගු වේලාවක් සිටි ඇය කල්පනා ලොවින් පියවි ලොවට පැමිණියාය.

කොට්ටාව, පිංහේන ශ්‍රී විජේතිලකාරාමවාසී (කවිබණ දේශක) නරවැල්පිට අරියරතන හිමිපාණෝ සාරදාගේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ පැවසූහ.

“බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා, කිසියම් දෙයක් තමන් විසින් සිදුකරලා පසුව ඒ ගැන දුක් වෙනවානම්, ඒ දේවල් සිදුකරන්න එපා කියලා. මෙම සිද්ධියේ ගැහැනු ළමයා තාත්තා නැතිවූ අයෙක් ලෙස ජීවිතේ හැඩගසා ගත යුතු ආකාරය පිළිබඳ දැන සිටියානම්, මෙතරම් කරදරවලට මුහුණ නොපාන්න ඉඩ තිබුණා. ඇත්තටම ධර්මය අනුව හැඩගැසෙනවානම් හුඟාක් ප්‍රශ්න විසඳාගන්න පහසුයි.

බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා ‘ඒකේන භෝගේ භුංජෙයිය’ යන ගාථාවෙන් තමන්ට ලැබෙන ආදායම වියදම් කරන ආකාරය පිළිබඳව.

“ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” යන්නෙන් ධර්මය පිළිපදිනු ලබන්නා ධර්මය විසින් රකිනු ලබයි යනුවෙන් ද උන්වහන්සේ දේශනා කළා.

හැඟීම්වලට වහල් නොවී බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම හදිසි තීරණ නොගෙන දුරදිග සිතා බලා කටයුතු කිරීමෙන් ගැටුම් අවම කරගන්න පුළුවන්. නිරන්තරයෙන් වැඩිහිටියන්ගේ, පන්සලේ හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පිළිපැදීම වැදගත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශීල ප්‍රතිපත්තිය. හැම පුද්ගලයකුගේම ජීවිතය සැපවත් කරන්නක්. බුදු දහම තුළ හැම දෙයක්ම හැම පැත්තක්ම කියලා තියනවා. බුදු දහමට අනුගතව යහපත් දිවි පැවැත්මක් ගත කරනවානම් ප්‍රශ්න ගැටලු අඩුයි.”

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY